අශෝක රන්වලගේ බිරිඳ අනතුරට ලක්කළ ගිටාර් වාදකයා රිමාන්ඩ් කරයි.
හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාගේ බිරිඳ ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයා මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් සමන් විතානාරච්චි මහතා ඊයේ (17) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සංගීත ශිල්පියෙකි.
පසුගිය 16 වැනිදා පෙරවරු 6.30ට පමණ කැලණිය – බියගම මහා මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත. වෛද්‍යවරියක වන අසෝක රන්වල මහතාගේ බිරිඳ සිය මෝටර් රථය මාර්ගයට අවතීර්ණ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, කැලණිය දෙස සිට පැමිණි සැකකරුගේ මෝටර් රථය එහි ගැටී තිබේ.
අනතුරින් තුවාල ලැබූ වෛද්‍යවරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සංගීත ශිල්පියා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ රියදුරා අනතුර සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බවයි.
අගතියට පත් වෛද්‍යවරිය වෙනුවෙන් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටි අතර, සැකකරු වෙනුවෙන් නීතීඥ බියන්කා ජයසූරිය මහත්මිය කරුණු ඉදිරිපත් කළාය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
බියගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.





