ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් රු.ලක්ෂ 50ක් ලබාදීම අද ජනපති ප්‍රධානත්වයෙන්
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස සඳහා, ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ නව නිවසක් ඉදිකර ගැනීම සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ආධාරයක් ලබාදීමේ නිල වැඩසටහන, අද (9) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථා අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගණය සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්දිය, රීදිගම – දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
මෙම වැඩසටහනට අදාළ චක්‍රලේඛය, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.
යම් නිවසකට පූර්ණ හානි සිදුවී ඇතිද යන්න හඳුනාගැනීම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් ලබාදෙන නිර්වචන හා තාක්ෂණික වාර්තා මත සිදු කෙරෙන බවද සඳහන් වේ.





