රියදුරන්ට අනතුරු ඇඟවීමක්!
මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා වන නව වැඩපිළිවෙළ අද සිටම ක්‍රියාත්මක වන බවයි.
මෙතෙක් පවතින නීතිමය හා තාක්ෂණික බාධාවන් හේතුවෙන් මත්පැන් හැර අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අපහසුතාවක් පැවති නමුත්, නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ එම බාධාවන් ඉවත් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නව ක්‍රමවේදයේ විශේෂතා:
- ක්ෂණික පරීක්ෂාව: නව රසායනාගාර පරීක්ෂණ ක්‍රමවේදය හරහා මිනිත්තු 3ක් වැනි කෙටි කාලයකදී රියදුරෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි හඳුනාගත හැකිය.
- මත්ද්‍රව්‍ය වර්ග 12ක්: මෙමගින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය වර්ග 12ක් ශරීරගත වී ඇත්ද යන්න පරීක්ෂා කිරීමේ හැකියාව පවතී.
- මුද්‍රිත වාර්තාවක්: පරීක්ෂණය අවසානයේ එහි ප්‍රතිඵලය රියදුරාටම ලබාගත හැකි වන පරිදි මුද්‍රිත වාර්තාවක් (Printout) ලෙස නිකුත් කිරීමට පහසුකම් සලසා ඇත.
මාර්ග අනතුරු අවම කරමින් මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





